Wednesday, February 17, 2016

වැලන්ටයින් සද 

වැලන්ටයින් දවසට රතුම රතු පාටට අදින්නත් ඕනිමද
රතු පාට ගාපු හාර්ට් බැලුම් බෝල මැද්දේ කැරකි කැරකී නටන්නත් ඕනිමද
චොකලට් වැස්සකුත් ආදරේ පුරවන්න තව ඇතිවේවිද
පිනි වැටිච්ච රෝසම රෝස පාට එකම එක රෝස මලක්
නැත්නම් මල් දෙක, තුනකුත් දෙන්නම ඕනිද
ගෙදරට පච හලලා දෑත් පටලවන් තුරුල් වෙලා
වෙරල තීරේ ඇවිදින එකත් සතුටක්ද
ඇත්තටම වැලන්ටයින් ආදරේ තියෙන්නේ පෙබරවාරි 14 විතරමද
එදාටත් ආදරේ පිරිලා ඉතිරිලා යනවමද
මං නුඹගේ වැලන්ටයින් සදක් වෙන්නත් ඕනිමද
ඉතින් අපි ඇත්තටම වැලන්ටයින් සමරන්න ඕනිමද 


- තිළිණි ප්‍රියංජලා -
ආදරය 

සත්තකටම ආදරයේ අවසානය
නීතිපොතේ තීන්ත පැනකින් සටහන් නොකලත්
නුඹ හා මා හද මැව් මතකයන්
මා හදවත් පන්හිදේ රන් අකුරින් සිත්තම් වී හමාරය
දිනෙක මේ දිගු දිවිගමනින්
නුඹට පෙර, මාගේ හුස්ම වාතලයේ අත්හැරීමට
මම පතන්නේ අන් කිසිවක් නිසා නොව,
නුඹ නොමැති දිවිකතරේ
මටත් ගමනක් නොමැති බැව් මා දන්නා හෙයිනි
මතුයම් දිනෙක සුවහසක් සුපෙම්වතුන්
මේ හිත් අහස් ගංගාවේ, අප වැනි පෙම්වත්හු දසදහස් ගණනින්
කෙළවරක් නැති සොදුරු අනන්තයේ; මතක මංපෙත් වල ඇවිද යාවි
දෙඇස් ඇරගෙනත් සිහින මවාවී
එවුන්ට නුදුරු දිනෙක ආදරේ යනු
කඩදාසි කොලයක් මත අදින
දෙදෙනෙකුගේ අත්සනක් පමණක්ම නොවන බවත්
ආදරය යනු හිත් පත්ලෙන්ම උපදින
සදාතනික වන්දනාවක් බවත්
දෙහිතක ඇමිණෙන බන්ධනයක් බවත්
කෙදිනකවත් නොමියෙන,
දිනෙන් දින දළුලන සදා මතක සැමරුමක් බවත්
පසක්වනු නොඅනුමානය !!!


- තිළිණි ප්‍රියංජලා -

Tuesday, January 26, 2016

තනිකමින් පිරිලා තිබුණු මගේ ජීවිතේ තනිකම නැතිකලෙත් නුඹයි
හිරු, සදු; තරු නැති මගේ හිත් ආකාසේ හිරු සදු තරු කැට එබ්බුවෙත් නුඹයි
නුල් බෝලයක් වගේ පැටලිලා තිබුන මගේ මනස පිළිවෙලට ගෙත්තම් කලෙත් නුඹයි
පැන්සලෙන් ඔහේ කුරුටු ගෑව මගේ සිතුවිලි අරුත්බර වචනවලින් හැඩවැඩ කලෙත් නුඹයි
කටට හිනාවත්, ඇස්වලට කදුලුත් ගෙන ආවේ නුඹයි
මේ වචන බොලද වුනත් මේ මගේ හිතට හිතෙන හැටිමයි
නිල්වන් අහස්තලේ ඇස් දෙකම පියන් මැවූ හීනේ
හැමදාමත් හිටියෙත්, ඉන්නෙත් නුඹම විතරමයි
ඉතින් මේ භවේ ලං වෙන්න බැරිවුනත් මං හිතින් හැමදාමත් නුඹේම තමයි
මේ ඇත්තටම මගේ ජීවිතේ, දෛවයේ සරදමයි 


- තිලිණි ප්‍රියංජලා -
මේ භවේ කවමදාකවත්ම අපි ලං නොවේවි
ඔයා හැමදාටමත්ම, මගේ හිතේ ජිවත් වේවි
මේ භවේ නැතිවුනත්, තව ආත්මයක් කියල දෙයක් තිබුනොත්
මං ඔයාම විතරක්ම ප්‍රාර්ථනා කරාවි
කාලය හෙමින් හෙමින් ගෙවිලා යාවි
අපි ටිකෙන් ටික වියපත් වේවි
ඒත් වයස කියන්නේ මටනම් නිකම්ම නිකම් අංකයක් විතරක්ම වේවි
කාලයත් එක්ක අද වගේ වාරුවක් නැතිවුනත් එදාට වාරුවක් වෙන්න මං නුඹ ලග ඉදිවී
නුඹේ හුස්ම යන අන්තිම තත්ත්පරෙන් පස්සේ මගේ හුස්මත් වා තලයේ නුඹේ හුස්මත් එක්ක මුසු වේවි
එදාට අපි අපේ වෙලා අපි අපේම ලොවක් තනාවී 


- තිලිණි ප්‍රියංජලා -

Monday, January 11, 2016

ෆැන්ටසි කුවේණි

රැයක් දහවලක් නොබලා
ඇවිත් ගම්මානෙන් සිදාදියට
දුහුල් සේද සළු වියනා පුංචි කුමරියේ

මුට්ටු කර රෙදි කොට කොට කෑලි කපා
නිරුවත අපේ වසාගන්න
සියුමැලි නුඹේ අතින් වියෙනා
සළුපිලි නම් ගතත් සිතත් දෙකම පිනයි
දුහුල් සේද සළු වියනා පුංචි දුවනියේ

ජුකී මැෂින් පාග පාගා
දහදිය මුගුරින් බේරී
වෙහෙසක් දැනුනත් කයටත්
සිතනම් නුඹේ වෙහෙස නොවෙයි
සේද දුහුල් සළු වියනා පුංචි කුවේණියේ

බඩකට පුරවාගන්නට
සප්ත සයුරෙනුත් එහාට
මහන ඇදුම් යවාගන්න
නොකා නොබී වෙහෙස දරයි
දුහුල් සේද සළු වියනා පුංචි දෙව්ලියේ

හිසකේ ටින් බෙලෙක් පාට
තොල් තැවරුව ලිප්ස්ටික්වල
පාට ගෑව නියපොතුවල
වතට දැමු පුයර කුසුම්
උදුර ගන්න මාන බලන
රෝස කොපුල් ගිලගන්නට
මාන බලන රකුසන්, වනසතුන් බෝමයි සිදාදියේ

උන්ගෙන් බේරී ඉදපන්
රටෙත්, ගමෙත් නම රැකපන්
නුඹට උරුම පාරේ යමින්
සේද දුහුල් සළු වියනා පුංචි දෙව්දුවේ

ජුකී මැෂිමේ ඉදිකටු තුඩ නොකැඩේන්නට
අත නොගැටී හෙමි හෙමින්ම රෙදි මහපන් පාට පාට
ඒවගේම නුඹේ ජිවිතේ
පාට පාට පාට වලින්
ගෙත්තම් කරපන් හෙමිහෙමිහිට
දුහුල් සේද සළු වියනා පුංචි නැගණියේ

ජීවිතයේ වැටෙන ගැටෙන
හැම තැනදීම හැම මොහොතම
නැගිට නැගිට අවධිවෙයන්
නුඹට ඇහැකි නම් පමණක්
මරු කතරට නොහිතා නොයා
රටේ නමත් දිදුලවපන්
ජීවිත යුද්ධය කරපන්
දුහුල් සේද සළු වියනා පුංචි සොදුරියේ

අවුරුද්දක් එනවා නේද
මටත් ඕන සුදු පාටට මල් වැටිච්ච
අත් කටවල් බෝරිච්චි වෙච්ච
රැලි වැටිච්ච මල් ගවුමක්
අවුරුද්දේ හැඩ බලන්න

ගමේ ඉන්න නංගි මල්ලි
අම්මා අප්පා බලා හිදියි
බඩු මල්ලක් උස්සාගෙන
නුඹ එනකල් ගම්මානෙට

කුවේණි එදා කපු කෙටුවත්
මෙදා සේද කපු නැතුවට
සිලික් රිබන් දිස්නේ ගහන
වැල් වැල් මුතු පබළු ඔබා
සාය කොටේ කොනෙන් ඉරා
හැට්ටේට සායත් අල්ලා
ෆැන්ටසි ගවුමක් මහපන්
දුහුල් සේද සළු වියනා පුංචි කුවේණියේ

ගම්මානෙන් සිදාදියට එනකොට කදුලැල් පුරවා
ගිනියම් වූ රළු පොලවේ පය ගහලා හනික වරෙන්
කෙමෙන් කෙමෙන් ඉදිරියටම

රෑ තුන්යම වෙල අද්දර කඩුල්ල පැන කජු ගහ යට
නංගි එක්ක කජු අහුලපු ඒ මතකය
මල්ලි එක්ක මිදුල මැද්දේ හරි හතරැස් කොටු ඇදලා
බට්ට පැනපු ඒ මතකය
රෑ හීනෙන් ගෙත්තම් කරපන් මනසේ
දුහුල් සේද සළු වියනා බාල බොලදියේ

රෑ තුන්යම හුල්ලනා
අම්මා අප්පා හිත දරාන
පාට පාට හීන අරන්
නෙත් විමානේ හීන අතුරා
ඒ හීනේ ඉගිල්ලියන් රෙදි මහන්නියේ 


- තිලිණි ප්‍රියංජලා -
වෙන්වීම, හමුවීම වගේම
හමුවීම, වෙන්වීම වගේම දුකක්
විපත, උපත වගේම
උපතත්, විපත වගේම දුකක්
නොලැබීම, ලැබීම වගේම
ලැබීම, නොලැබීම වගේම දුකක්
ජීවත්වෙවී, ජීවත් නොවීම වගේම
ජීවත්නොවී, ජීවත් වීම වගේම දුකක්
භව කතරේ ඉපදීම, මියයෑම වගේම
ඉපිද, ඉපිද මියයාමත්
මැරි මැරි ඉපදීමත්
දුකක් 


- තිලිණි ප්‍රියංජලා -
දෙනෙත් වලට නින්ද නොඑන
සිතුම් පෙලම මාන බලන
හිත් පොඩිත්තේ හීන පිරුන
රෑ අහසේ එලිය ගේන
මං නුඹගේ සදක් නොවුන
එනමුදු මගේ හිතේ ඇදුන
හිත් පත්ලේ දස වධ දෙන
හීන අස්සේ ඇවිදන් යන
විටෙක දුකද, සතුට ගේන
සංසාරේ බලා හිදින
සැබෑ වෙන්න පෙරුම් පුරන
කවදාවත් සැබෑ නොවන
නුඹ නොපතන මමම පතන
නුඹේ නොවුන නුඹේම මම


- තිලිණි ප්‍රියංජලා -