Tuesday, January 26, 2016

තනිකමින් පිරිලා තිබුණු මගේ ජීවිතේ තනිකම නැතිකලෙත් නුඹයි
හිරු, සදු; තරු නැති මගේ හිත් ආකාසේ හිරු සදු තරු කැට එබ්බුවෙත් නුඹයි
නුල් බෝලයක් වගේ පැටලිලා තිබුන මගේ මනස පිළිවෙලට ගෙත්තම් කලෙත් නුඹයි
පැන්සලෙන් ඔහේ කුරුටු ගෑව මගේ සිතුවිලි අරුත්බර වචනවලින් හැඩවැඩ කලෙත් නුඹයි
කටට හිනාවත්, ඇස්වලට කදුලුත් ගෙන ආවේ නුඹයි
මේ වචන බොලද වුනත් මේ මගේ හිතට හිතෙන හැටිමයි
නිල්වන් අහස්තලේ ඇස් දෙකම පියන් මැවූ හීනේ
හැමදාමත් හිටියෙත්, ඉන්නෙත් නුඹම විතරමයි
ඉතින් මේ භවේ ලං වෙන්න බැරිවුනත් මං හිතින් හැමදාමත් නුඹේම තමයි
මේ ඇත්තටම මගේ ජීවිතේ, දෛවයේ සරදමයි 


- තිලිණි ප්‍රියංජලා -
මේ භවේ කවමදාකවත්ම අපි ලං නොවේවි
ඔයා හැමදාටමත්ම, මගේ හිතේ ජිවත් වේවි
මේ භවේ නැතිවුනත්, තව ආත්මයක් කියල දෙයක් තිබුනොත්
මං ඔයාම විතරක්ම ප්‍රාර්ථනා කරාවි
කාලය හෙමින් හෙමින් ගෙවිලා යාවි
අපි ටිකෙන් ටික වියපත් වේවි
ඒත් වයස කියන්නේ මටනම් නිකම්ම නිකම් අංකයක් විතරක්ම වේවි
කාලයත් එක්ක අද වගේ වාරුවක් නැතිවුනත් එදාට වාරුවක් වෙන්න මං නුඹ ලග ඉදිවී
නුඹේ හුස්ම යන අන්තිම තත්ත්පරෙන් පස්සේ මගේ හුස්මත් වා තලයේ නුඹේ හුස්මත් එක්ක මුසු වේවි
එදාට අපි අපේ වෙලා අපි අපේම ලොවක් තනාවී 


- තිලිණි ප්‍රියංජලා -

Monday, January 11, 2016

ෆැන්ටසි කුවේණි

රැයක් දහවලක් නොබලා
ඇවිත් ගම්මානෙන් සිදාදියට
දුහුල් සේද සළු වියනා පුංචි කුමරියේ

මුට්ටු කර රෙදි කොට කොට කෑලි කපා
නිරුවත අපේ වසාගන්න
සියුමැලි නුඹේ අතින් වියෙනා
සළුපිලි නම් ගතත් සිතත් දෙකම පිනයි
දුහුල් සේද සළු වියනා පුංචි දුවනියේ

ජුකී මැෂින් පාග පාගා
දහදිය මුගුරින් බේරී
වෙහෙසක් දැනුනත් කයටත්
සිතනම් නුඹේ වෙහෙස නොවෙයි
සේද දුහුල් සළු වියනා පුංචි කුවේණියේ

බඩකට පුරවාගන්නට
සප්ත සයුරෙනුත් එහාට
මහන ඇදුම් යවාගන්න
නොකා නොබී වෙහෙස දරයි
දුහුල් සේද සළු වියනා පුංචි දෙව්ලියේ

හිසකේ ටින් බෙලෙක් පාට
තොල් තැවරුව ලිප්ස්ටික්වල
පාට ගෑව නියපොතුවල
වතට දැමු පුයර කුසුම්
උදුර ගන්න මාන බලන
රෝස කොපුල් ගිලගන්නට
මාන බලන රකුසන්, වනසතුන් බෝමයි සිදාදියේ

උන්ගෙන් බේරී ඉදපන්
රටෙත්, ගමෙත් නම රැකපන්
නුඹට උරුම පාරේ යමින්
සේද දුහුල් සළු වියනා පුංචි දෙව්දුවේ

ජුකී මැෂිමේ ඉදිකටු තුඩ නොකැඩේන්නට
අත නොගැටී හෙමි හෙමින්ම රෙදි මහපන් පාට පාට
ඒවගේම නුඹේ ජිවිතේ
පාට පාට පාට වලින්
ගෙත්තම් කරපන් හෙමිහෙමිහිට
දුහුල් සේද සළු වියනා පුංචි නැගණියේ

ජීවිතයේ වැටෙන ගැටෙන
හැම තැනදීම හැම මොහොතම
නැගිට නැගිට අවධිවෙයන්
නුඹට ඇහැකි නම් පමණක්
මරු කතරට නොහිතා නොයා
රටේ නමත් දිදුලවපන්
ජීවිත යුද්ධය කරපන්
දුහුල් සේද සළු වියනා පුංචි සොදුරියේ

අවුරුද්දක් එනවා නේද
මටත් ඕන සුදු පාටට මල් වැටිච්ච
අත් කටවල් බෝරිච්චි වෙච්ච
රැලි වැටිච්ච මල් ගවුමක්
අවුරුද්දේ හැඩ බලන්න

ගමේ ඉන්න නංගි මල්ලි
අම්මා අප්පා බලා හිදියි
බඩු මල්ලක් උස්සාගෙන
නුඹ එනකල් ගම්මානෙට

කුවේණි එදා කපු කෙටුවත්
මෙදා සේද කපු නැතුවට
සිලික් රිබන් දිස්නේ ගහන
වැල් වැල් මුතු පබළු ඔබා
සාය කොටේ කොනෙන් ඉරා
හැට්ටේට සායත් අල්ලා
ෆැන්ටසි ගවුමක් මහපන්
දුහුල් සේද සළු වියනා පුංචි කුවේණියේ

ගම්මානෙන් සිදාදියට එනකොට කදුලැල් පුරවා
ගිනියම් වූ රළු පොලවේ පය ගහලා හනික වරෙන්
කෙමෙන් කෙමෙන් ඉදිරියටම

රෑ තුන්යම වෙල අද්දර කඩුල්ල පැන කජු ගහ යට
නංගි එක්ක කජු අහුලපු ඒ මතකය
මල්ලි එක්ක මිදුල මැද්දේ හරි හතරැස් කොටු ඇදලා
බට්ට පැනපු ඒ මතකය
රෑ හීනෙන් ගෙත්තම් කරපන් මනසේ
දුහුල් සේද සළු වියනා බාල බොලදියේ

රෑ තුන්යම හුල්ලනා
අම්මා අප්පා හිත දරාන
පාට පාට හීන අරන්
නෙත් විමානේ හීන අතුරා
ඒ හීනේ ඉගිල්ලියන් රෙදි මහන්නියේ 


- තිලිණි ප්‍රියංජලා -
වෙන්වීම, හමුවීම වගේම
හමුවීම, වෙන්වීම වගේම දුකක්
විපත, උපත වගේම
උපතත්, විපත වගේම දුකක්
නොලැබීම, ලැබීම වගේම
ලැබීම, නොලැබීම වගේම දුකක්
ජීවත්වෙවී, ජීවත් නොවීම වගේම
ජීවත්නොවී, ජීවත් වීම වගේම දුකක්
භව කතරේ ඉපදීම, මියයෑම වගේම
ඉපිද, ඉපිද මියයාමත්
මැරි මැරි ඉපදීමත්
දුකක් 


- තිලිණි ප්‍රියංජලා -
දෙනෙත් වලට නින්ද නොඑන
සිතුම් පෙලම මාන බලන
හිත් පොඩිත්තේ හීන පිරුන
රෑ අහසේ එලිය ගේන
මං නුඹගේ සදක් නොවුන
එනමුදු මගේ හිතේ ඇදුන
හිත් පත්ලේ දස වධ දෙන
හීන අස්සේ ඇවිදන් යන
විටෙක දුකද, සතුට ගේන
සංසාරේ බලා හිදින
සැබෑ වෙන්න පෙරුම් පුරන
කවදාවත් සැබෑ නොවන
නුඹ නොපතන මමම පතන
නුඹේ නොවුන නුඹේම මම


- තිලිණි ප්‍රියංජලා -
නොපිපි කුසුමක හද ගැස්ම නුඹ නම්
ඒ මලේ පෙති පර නොකළ මැනවි
සිත් අහසේ පිපි හුස්ම පොද නුඹ නම්
සදක් සේ නුඹ බැස නොයනු මැනවි 


මහද අරණේ ලැගුම් ගත් නුඹ
පින් නොකලමුත් අපි අපේ වන්නට
පතන්නෙමි මා සදා නුඹවම
මතු භවේදිත් යලි යලි


පුරාණේ අපේ දෙහිත් බැදුනත්
එදා වෙරළේ බැදුණු දෑගිලි
අද මෙසේ රැලි පෙරලි අතුරින්
සේදී සේදී මැකීගියමුත්
මියෙන තුරු මගේ මතක නිම්නයේ ගලා බැස යාවි


කොපුල් මතින් නුඹේ වෑහුණු හසරැලි
දෙනෙත් අගින් නුඹේ දගලපු ඉගිබිගි
මැකී නොමයයි මාහද සන්තානේන්
පෙර අපේ ඒ සොදුරු මතකය
මියෙනතුරු මගේ මතක නිම්නයේ ගලා බැසයාවී 


- තිලිණි ප්‍රියංජලා -

Friday, January 1, 2016

 තනි තරුව

දැනෙන පාළුව හදවතට
බැලු බැලු අත හැමතැනම
සංසාර චාරිකාව පුරාවටම
නෙතගින් කියූ වදන්
මතකයෙන් නොගිලිහේ සත්තකටම
පාළුවක් දැනුන විගසම
මං බලන්නේ අහස විතරමය
ඒ බලන අහසේ
දිලිසි දිලිසි ඔච්චම්පාන
එකම තනි තරුව නුඹ
කොහොමද නුඹ
පොළොවේ නොරැදී හුස්ම ගන්නේ
නුඹ මහා මුහුදක් උනා නම්
ඒ මුහුදු පත්ලේ මුතු ඇටය නුඹ
කොහොමද නුඹ
වෙරළ නොබලා මුහුදු පත්ලේ හුස්ම ගන්නේ
නුඹේ ජීවිතය මගේ යැයි කියා
මගේ ජීවිතය නුඹේ යැයි කියා
කොහොමද නුඹ
තනිවම හුස්ම අත්හැරියේ
රෑ තුන්යාමේ ඝනදුර දුරලන
තනිතරුවක් වෙලා, උජාරුවට දිස්නේ පපා
කොහොමද නුඹ තනිව තව
මට පේන්නද දිස්නේ පාන්නේ 
පාළු සොහොනේ අරලියා මල් ඉහිරුණු
කොතක් යට මිහිදන් කල නුඹේ කය
නොදැක මං කොහොම තනිව හිනැහෙන්නේ
මිහිදුම් පටල අතරින් නොපෙනෙන පෙනෙන
සේයාවක් වූ නුඹ
මා මතකේ සරදම් කරනවිට
කොහොමද තව මං ජීවිතේ ගෙවන්නේ
නුඹ මියැදී බව දැන දැනම
නුඹ මගෙන් සමුඅරන්  බව දැන දැනම
නුඹ මෙලොව හැරදා ගිය බවත් දැන දැනම
මගේ හුස්ම ඉතිරි කර
නුඹේ හුස්ම වා තලයේ පා කර
නීල අහසේ තනි තරුවක් වූ බව දැන දැනම
මං කොහොම තනි තරුවක් නොවී ඉන්නේ

- තිලිණි ප්‍රියංජලා -